1979 / 05 / 02 දින කුඩා පොල් අතු මඩුවකින් ආරම්භ කරන ලද මෙම විදුහලේ අද වන විට සිසු දූ දැරියන් 1554ක් ඉගෙනුම ලබන අතර මේ වන විට ගුරුවරුන් 69 දෙනෙකු සේවයේ යෙදී සිටියි.
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර අධ්‍යාපන කොට්ඨාසයේ 1C වර්ගයට අයත් බෞද්ධ මිශ්‍ර පාසලක් වන ර/රත්නපුර මිහිඳු විද්‍යාලය රත්නපුර නගර මධ්‍යයේ පිහිටා ඇත. මෙම පාසල වර්තමානයේ තිබෙන දියුණු තත්ත්වයට ගෙන ඒම සඳහා පාසලට නායකත්වය දුන් විදුහල්පති/පතිනියන්ගේ අප්‍රතිහත ධෛර්යය කැපවීම සහ නිවැරදි නායකත්වය හේතු සාධක වී ඇත.
1981 වර්ෂයේ ප්‍රථම විදුහල්පති වූ බමුණුසිංහ මහතා විසින් වර්ථමානයේ පිහිටි කෞතුකාගාරය අසල ගොඩනැගිල්ලට රැගෙන විත් ඇත. රත්නපුර ජනාධිපති විද්‍යාලය නමින් පවත්වාගෙන ගිය මෙම පාසලේ දෙවන විදුහල්පතිනිය ලෙස එස්. විජේසිංහ මහත්මිය කටයුතු කර ඇත. එක වසර සිට පහ වසර දක්වා පන්ති පවත්වා ඇත.
තෙවන විදුහල්පතිනිය ලෙස පාසලට පැමිණි බී.ඒ.පී.කෑරගල මැතිණිය කරන ලද සුවිශේෂි සේවය මහත් සේ අගය කළ යුතුව ඇත. පාසලේ නිළ ලාංඡනය මඬලගම වජිරබුද් නාහිමියන් සුරතින් පාසල් ගීතය සංගීත අධ්යක්ෂ විතානච්චිචිමහතා විසින් ද නිර්මාණය වූ අතර ටයි පටිය හා පාසලේ නම ද බෞද්ධකම පිළිබිඹු කරන ර/මිහිඳු විද්‍යාලය නමින් වෙනස් කිරීම ද මෙම කාල වකවානුව තුළ සිදු වී ඇත. පාසලේ ප්රධානශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ල, බුදුමැදුර, පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සකස් කිරීම මෙම කාලයේ සිදු වූ අතර 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති ආරම්භය සහ අ.පො.ස. සා.පෙ. විභාගයේ දී විශිෂ්ඨ ප්‍රතිඵලයක් හා ශිෂයත්ව විභාගයේ දී ප්‍රථම හා තෙවන ස්ථාන ලබා ගැනීම පාසල් ක්‍රිකට් කණ්ඩායම විසින් වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීම යන වැදගත් සිදුවීම් රාශියක් මෙතුමියගේ නායකත්වය යටතේ සිදුව ඇත...
සිව්වන විදුහල්පතිවරයා ලෙස යූ.ඩී.නිමලමස්න මහතා වැඩ භාරගත් අතර මෙතුමාගේ කාලය තුළ පාසල අධ්‍යාපනික හා භෞතික වශයෙන් විශාල දියුණුවකට පත් විය. ඉන් පසු කෙටි කාලයකට පැමිණි ඒ.සී.එස්.සිරිවර්ධන මහතාගෙන් පසුව නැවත වතාවක් යූ.ඩී.නිමලමස්න මහතා විදුහල්පති ලෙස 2003 වසර දක්වා සේවය කර ඇත. පාසලේ සංවර්ධනය සඳහා භෞතික සම්පත් රාශියක් ලබා ගැනීමට මොහුගේ නායකත්වය තුළ සමත්ව ඇත.
ඉන්පසුව පාසලට විදුහල්පතිනිය ලෙස පැමිණි මල්කාන්ති මහත්මියගේ පාලන කාලයේ දී පාසලේ තවත් සන්ධිස්ථාන රාශියක් පසුකළ වටිනා පරිච්ඡේදයකි. ප්‍රාථමික අංශය පවත්වාගෙන යන තෙමහල් ගොඩනැගිල්ල ඉදි කිරීම, පුස්තකාලය පවතින පැරණි ගොඩනැගිල්ලට යාබදව පන්ති කාමර 6ක් ඉදි කිරීම, නැටුම් කාමරය ඉදි කිරීම, පාසල වටා ඇති ආරක්ෂක දැල පැති බැම්ම ඉදි කිරීම, බටහිර තූර්ය වාදක කණ්ඩායම ආරම්භ කිරීම එතුමියගේ කාලය තුළ සිදු වූ වැදගත් සිදුවීම් මේ අතරට ඉතිහාසගත වේ.
පාසලේ 7 වන විදුහල්පති වරයා වශයෙන් විදුහල්පති ධූරයේ වැඩ බැලීමට පත් වූයේ මෙම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වශයෙන් සේවය කළ පී.බී.සමරමකෝන් මැතිතුමායි. 2011 වසරේ සිට 2015 වර්ෂය දක්වා සේවය කළ ඔහු පාසලේ ආරක්ෂක වැට ඉදිකිරීම, ප්‍රධාන ශාලාවේ වේදිකාව සහ සිවිලිම සකස් කිරීම, වැසිකිලි කැසිකිලි පද්ධතියක් ඉදි කිරීම, පාසලට අවශයම අංගයක් වූ පරිගණක විද්‍යාගාරය සකස් කර එයට අවශය පරිගණක යන්ත්‍ර ලබා ගැනීම සිදු කර ඇත.
පාසලේ අටවන විදුහල්පතිවරයා වශමයන් 2015 වර්ෂයේ පැමිණි රංජිත් ලියනආරච්චි මහතාගේ පාලන කාලය වර්ෂ දෙකක පමණ වුවත් ඉහළ ශිෂයත්ව ප්‍රතිඵල පෙන්වීමට අ.පො.ස. සා.පෙ. ප්‍රතිඵලය 70% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලදී.
2016 පැමිණි ගංවතුර තත්ත්වය නිසා බොහෝ හානියට පත් වූ පාසල නැවත යතා තත්ත්වයට පත් කිරීමට ආයතන රාශියක උදව් උපකාර ලබා ගැනීමට මොහු විසින් කටයුතු කරන ලදී. ලඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සහිත නව තෙමහල් ගොඩනැගිල්ල ලබා ගැනීම, නව විද්‍යාගාරයකට සහ පුස්තකාලයට පහසුකම් ඇති නව දෙමහල් ගොඩනැගිල්ල ලබා ගැනීම වැසිකිලි හා කැසිකිලි පද්ධතියක් ඉදි කිරීම මෙම කාලය තුළ දී සිදු කර ඇත.
පාසලේ නවවන විදුහල්පති නිමල් ගුණවර්ධන මහතාගේ කාලයේ දී පාසල තුළ සාධනීය වෙනස්කම් රාශියක් සිදුවිය. ප්‍රධාන වේදිකාව ඉදිරිපස මිදුල සම්පූර්ණයෙන්ම ඉන්ටලොක් ගල් අල්ලා සකස් කිරීම, පන්ති කාමර නව ක්‍රමවේදයකට අනුව ආලේප කිරීම, ප්‍රාථමික අංශයේ බිත්ති වල චිත්‍ර ඇඳ අලංකාර කිරීම, ගංවතුර නිසා ආපදාවට ලක්වන ප්‍රධාන කාර්යාලය ඉහළ මහළක ස්ථානගත කිරීම ආදි සංවර්ධන කටයුතු රාශියක් එතුමාගේ මූලිකත්වයෙන් සිදුකළ අතර විෂය මාලාව නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම තුළින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සා/පෙළ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට ද කටයුතු කරන ලදී.


